Sunday, July 10, 2011

මානසික අසහනය සහ ෂොපින් යාම

කලින් දා රෑ 7 ට වගේ ගෙදරින් පිටවුණු ස්වාමි පුරුෂයා ආපහු එනකොට පහු වෙනිදා පාන්දර 5යි. යාලුවෝ හම්බවෙලා ඕප දූප හුවමාරු කරගෙන කෑම කාලා පොඩි ෂොට් එකක් එහෙම දාලා එන එකේ කිසි වැරද්දක් නෑ. නවීන මිනිස්සු වුණත් කණ්ඩායමක් විදියට හැසිරෙන්න කැමතියි. ආදි කාලේ ඉඳලම හිත් වල පැලපදියම් වුණු ගෝත්‍රික හැඟීම සියවස් ගණනාවක් ගියත් අයින් වෙන්නේ නෑ.

රෑ පුරාම බිරිඳ ඇහැරිලා බලාගෙන ඉන්නවා, 'දැන් එයි මේ මනුස්සයා.. දැන් එයි' කියලා. ආවට පස්සේ 'මොකද යකෝ මේච්චර වෙලා කලේ' කියලා ඇඟට කඩා පැනලා වැඩක් නෑනේ. ඉතින් 'ඔයා කාලද ආවේ' කියලා අහලා ෂේප් වෙනවා. හොඳ හැටි සප්පායම් වෙලා ආවට පස්සේ වැරදි වචනයක් කියවුණොත් එහෙම රණ්ඩුව කොහෙන් නතර වෙයිද දන්නේ නෑනේ..අරාබි කියමනකුත් තියෙනවනේ 'කට අරින්න හොඳ නැති වෙලාවට රත්තරන් දැම්මත් අරින්න බෑ' කියලා..

පහු වෙනිදා උදේ බිරිඳ තීරණය කරනවා ෂොපින් යන්න..තමන්ට කියලා වැඩක් කරගන්න..යාලුවොත් එක්ක ගෙදර බිත්ති හතරෙන් එලියට ගිහින් විනෝද වෙන්න.
රෑ තිස්සේ එලියේ ඉඳලා තමන්ගේ ගෑණි කෑවද බීවද කියලා නිකමටවත් ස්වාමි පුරුෂයා අහපු නැති එකේ හිතේ අමාරුවත් තදින්ම තිබුණා.
උදේ ස්වාමි පුරුෂයට පේන්නම ලස්සනට ඇඳ ගෙන ගෑණි යාලුවොත් එක්ක එලියට ගියා. අම්මේ..සුවපහසු කාර් නැතුවට බස් එකේ යනකොට දැනුණු සනීපේ... වචනෙකින්වත් තමන්ගේ හිතේ අමාරුව කාටවත් පෙන්නුවෙ මේ ගෑණි නෙවෙයි. අනේ ඕවා කිවුවා කියලා වැඩක් තියෙනවයැ.

මේ දවස් වල යහමින් සල්ලි තිබුණෙත් නෑ..ඒත් හිතේ අමාරුව ඊට වඩා වැඩියිනේ. ස්වාමි පුරුෂයාගේ සල්ලි වියදම් කරන එකේ පුංචි කෘර ප්‍රීතියකුත් තිබුණා. යාලුවොත් එක්ක ගිහින් ෆිල්ම් එකක් බලලා හරි සැහැල්ලුවෙන් එදා දවස ගත කලා. කසාඳ බඳින්න කලින් තමන්ට කොයිතරම් නිදහස් ජීවිතයක් තිබුණද කියලා මතක් වෙලා ඇහැ කෙළවරට කඳුලු බිංදුවකුත් ආවා.

ගෑණියෙක්ගේ අසහනයයි ෂොපින් යාමයි අතර ලොකු සම්බන්ධයක්  තියෙනවා.  හිතේ අමාරුවක් නම් විශාල සාප්පුවකට ගිහින් ඇඳුම් අතර අතරමං වීමෙන් අසහනය නැති කරගන්න ගෑණු ඕනතරම්. තමන්ව නොසලකා හැරීමකට ලක් වුණා කියලා හිතුණාම හිත රිදෙනව නේන්නම්.

ආස කරපු වටින ඇඳුම් දෙක තුනකුත් අරගෙන..ෆිල්ම් එකත් බලලා..යාලුවොත් එක්ක සැහැල්ලුවෙන් කතා කරලා හිනා වෙලා ඉන්නකොට හිතේ තිබුණු බර ගතිය එහෙමම නැති වෙලා ගියා. අලුත් ඇඳුම්, සපත්තු වල සුවඳ, ගෙදරින් පිට කිසිම බරපතලක් නැතුව හැසිරෙන්න ලැබුණු අවස්ථාව හිතට අමුතුම සතුටක් ගෙනාවා.

හවස් ගෙදර ආවාම ස්වාමි පුරුෂයා ඉන්නවා ශෝක මූඩ් එකක් දාගෙන. ළඟට ඇවිත් හරි ආදරෙන් කියනවා 'අනේ මම ඔයා නැතුව පාලුවෙන් හිටියේ...' කියලා.
මේ වෙලාවෙදි බිරිඳගේ හිතට එනවා.. 'ඈ බොල..මම ගියොත් තමයි අමාරුව..තමන් හතර වරම් ගහලා එනකම් මෙතන අපි ඉන්න ඕනේ ඉවසගෙන..'..
හිතට ආවට ගෑණි නෙවෙයි කට අරින්නේ.. හොඳ හැටි ෂොපින් කළාට පස්සේ යහපත් මනෝ භාවෙකින් හිටිය නිසා රෑ තිස්සේ රවුම් ගහලා ආපු ස්වාමි පුරුෂයට සමාව දෙන්න පුලුවන් වුණා.

'අනේ මොන වුණත් ඉතින් මගේ මිනිහනේ..ඔය තරහ ගිය වෙලාවට අඩි පොළවෙ ගහල කෑගැහුවට, ගෑණිට වඩා කොහෙවත් ඉන්න යාලුවෝ ලොකු කරගෙන රාත්‍රී වීදි සංචාරය කළාට මට ආදරේ නැතුව නෙවෙයිනේ..' කියලා ගෑණි හිත හදාගත්තා.