Friday, August 12, 2011

බලාපොරොත්තුව

අනේ..දුරකථනය විශේෂම හඬකින් නාද වෙනකොට හුස්ම වැටෙන්නේ නැතුව ගියා. කොච්චර කල් ගත වුණත් මේ සුවිශේෂ බැඳීම වෙනස් වෙන්නේ නැති වෙන්නේ හැටි. අතීතයේ වෙච්ච දේවල් හරියට චිත්‍රපටියක රූප රාමු වගේ ඇස් දෙක ඉස්සරහ නිවි නිවි මැවුණා. අද එදා ඉඳල සෑහෙන්න කාලයක් ගෙවිලා ගිහින්. ඒත් ඒ මතක වල වටිනකම වැඩි වෙලා විතරයි. පොඩ්ඩක් වත් අඩු වෙලා නෑ. ජීවිතේ අමාරු වෙලාවට යන්තම හුස්ම ගැට ගහගන්න ඒ මතක උදවු කරනවා. පණ ගැහෙන නහර වැල් වලට අමුතුම රිදමයක් එකතු කරන්න පුලුවන් ඒ පුරුෂ සුවඳට විතරයි.

මේ අවුරුදු ගාණට අත්දැකපු චූල පුරුෂයෝ, මහා පුරුෂයො වගේ පෙනී හිටින්න හදන ගඳ ගහන දෙබිඩි චරිත ස්වභාවයන් තියෙන නර පණුවෝ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා පුරුෂයෝ නම් වර්ග කරලා බෙදලා පැත්තකින් අරන් තියන්නත් බැරි තරම්. තමන්ගේ කියලා කිසි කෙනෙක් අල්ලගෙන හිර කරලා තිය ගන්න බෑ. ඒත් සමහර සුවඳවල් හැමදාටම හිතේ ගැඹුරුම රහසිගත තැන් වල හිර වෙලා. අදටත් ඉවර වෙයි කියලා ලෝබ කමක් නැතුව ඒ සුවඳ විඳින්න පුලුවන්.

ජීවිතේ හැම මොහෙතෙම වෙනස් වෙනවා. එකට රස විඳපු හින්දි සින්දු අහන්න අද මම තනියම. ඒ විදියටම හිතට අරක් ගත්ත පුරුෂයත් වෙනම රටක තනියම. ඒත් ඒ සින්දු ඇහෙන වාරයක් පාසා සුපුරුදු සුවඳ හිත වටේ රවුම් ගහනවා. කියා ගන්න  බැරි වුණාට අදටත් ඒ ආදරේම ඇති හිනා වෙලා ජීවත් වෙන්න.

'හෙලෝ..'
හුස්මත් හිර වුණා.

මුලු ලෝකෙම සතුට දෙපා මුලුට ආවා වගේ. ආයෙමත් දවසක විනාඩියකට හරි සතුටින් ජීවත් වෙන්න මම මඟ බලන් ඉන්නවා..මේ නරා වලෙන් එලියට ඇවිත් හිනා වෙන්න..ඒ ආත්මීය පුරුෂ සුවඳ විඳින්න..ආරක්ෂාකාරී හැඟීමෙන් වට වෙලා ඉන්න තව කොච්චර කල් බලන් ඉන්න ඕනෙද..

3 comments:

  1. ඉවසන්න, ජීවිතේ වටින දේවල් ලේසියෙන් ලැබෙන්නෙ නෑ. කවද හරි ඒ සුවඳ ඔයාගෙ විතරක්ම වේවි.

    ReplyDelete
  2. ආදරේ සොයලා මම ආවා ..... හේ හේ දුරකතනය එහෙමද ?

    ReplyDelete
  3. කසුන්.. හ්ම්ම්ම්.....
    වේලාව ලඟයි ..අපි හැමෝටම හොඳ වෙලාවක් කවදහරි එයි නේ..
    බොහොම ස්තූතියි ආවේශය ලිපි සමඟ එකතු වුණාට..

    ReplyDelete

ඔබේ අදහස්...