Saturday, August 13, 2011

කන්දක් සේ මා...


අනේ නූපා සං හැම ගෑණියෙක්ම ඔය රොමෑන්තික ප්‍රේමය පස්සේ දුවනවා. කරුමෙ කියන්නේ ඕක පස්සේ දුවනකොට හති වැටෙන්නෙත් හරි හිමින්. කාලයක් ගියාට පස්සේ. කොච්චර නොලැබුණත් වයසට ගියාට පස්සේ හරි ලැබෙයි කියලා හිතෙනවනේ. ඕං ඔහොමයි ස්ත්‍රී චින්තනයේ හැටි. 

මසායා සං ලැබුණු ආදරේ නැතුව ගොලු වෙලා. කසාඳ ගෑණි හිටියට හිතේ ඉන්නේ වෙනම ගෑණියෙක්. නූපා සං ආදරේ කරන්න ආසයි. ආදරේ හොයනවා තාමත්. මසායා සං කසාඳ මිනිහා වුණාට නූපා සංගේ හිතට දැනෙන්න ආදරේ කරන්න දන්නේ නෑ. ලෙඩක් දුකක් උණාම ලඟටම වෙලා ඔලුව අත ගගා ඉන්න මිනිහෙක්..ගෑණි කෑවද බිවුවද කියලා තමන්ට දැනෙන මිනිහෙක්..ගෑණිගේ කඳුලු බිංදුවක් වට්ටන්න ලෝබ මිනිහෙක්... අනේ අද කාලේ නම් කොහෙන් හොයා ගන්නද..පුදුමේ කියන්නේමෙ සත්‍ය දැනගෙනත් ලැබෙන්නේ නෑ කියලා දැනගෙනත් මේ ගෑණු හිත් හොයන්නේම රෝස මල් රොමෑන්තික ප්‍රේම කතා නේ.

ජීවිතේ එක පාරක් හරි පපුවට දැනෙන්න සීමාවක් නැතුව ආදරේ කරන්න පුලුවන් නම්. අනේ වගේ මිනිහෙක්ගෙන් ළමයෙක් හදාගෙන තනියම හිටියත් හිතට සැපයි. අද කාලේ ඉන්න ගොඩක් මිනිස්සු ජයනාථලා, ලනිල්ලා..නූපා සංට වඩා ලොකු ප්‍රේමයි පොඩි ප්‍රේමයි වාසනාවන්තයි. ඇත්තිලා දෙන්නගේ පුරුෂයා ප්‍රේමණීය නිසා. කාගේවත් කතන්දර වලට බය නොවී තමන්ට හිටපු ගෑණු දෙන්නටම එක වගේ සලකපු නිසා. ගෑණියෙක්ගේ චිත්ත සන්තාතනය හරියට අඳුනගත්ත නිසා.  

නූපා සං ලංකාවේ ඉන්නේ නැතුව ජපානෙට පැනලා ගියේ අම්මලා තාත්තලා ලැජ්ජාවෙන් බේර ගන්නද..එහෙම නැත්තම් ආදරෙයි කියලා හිතාගෙන හිටපු වේස මිනිහගේ කවරේ ගැලවුණු නිසා තමන්ගේ හිත හදා ගන්නද.. කෝ ඉතින් ගෑණි හිතන විදියට මසාය සං ආදරේ කරනවයැ. ඉරි තලන විවාහ ජීවිතයක් තියෙනකොට ගෑණු ආදරේ හොයන් යන එක පුදුම වෙන්න දෙයක් නෑ. නැත්තම් පොඩි කෙල්ලෙක් වගේ සුමල්ගේ පිටිපස්සේ වැටෙනවයැ. රැවටෙනවා කියලා දැන දැනත් සුමල් පස්සේ යන්නේ මිනිහ එක්ක නිදා ගන්න ඕනෙ කමට විතරක් නෙවෙයි. ගෑණියෙක්ට ආදරේදී එකට නිදා ගන්නවා කියන්නේ බොහොම සුළු සිද්ධියක් විතරයි. ආදරේ කියන්න බර වචනේ ඇතුලේ තියෙන හරි පොඩි ක්‍රියාවක් විතරයි. ඕක ඉතින් සමහර පුරුෂයින්ට ඔලුවේ වැඩ කරන එකම දේනේ. ගෑණියෙක් අල්ලගෙන තමගේ කුලප්පුව සමනය කරගත්තාම හරි කියලනේ හිතාගෙන ඉන්නේ.  
නූපා සංට ඕනේ කරන..හිතේ ඉන්න පරමාදර්ශී පෙම්බර චරිතයට අනුගත වෙන්න සුමල්ටත් බැරිවුණා.  

මෙච්චර දේවල් වුණාට පස්සේ මසායා සංට පුලුවන්ද හිරිවැටුණු ලේ නහර අයේමත් උණුසුම් කරන්න...අනේ මන්දා නූපා සං... ඔය හිතේ ඉන්න පෙම්බරයා කවද ඇත්තක් වෙයිද.. මාත් මේ තවම බලන් ඉන්නේ එහෙම කෙනෙක් එනකම්..එහෙම නැත්තම් ගල් වැදිල ඇහැරිලා මාව මේ හීනෙන් එලියට වැටෙනකම්...

2 comments:

  1. පෙම්බරා.................. නූපා සං............ කවුරු කොහොම කිව්වත් මගේ හිතට වැදුනු කථාවක්. සමහරවිට සමහර අය මේ කථාව ප්‍රතික්ෂේප කරන්නේ, මේකට කැමති නැත්තේ, මේ සිදුවීම් අභව්‍යයි කියලා හිතලා වෙන්න ඇති. ඒත් මං දන්නවා මේ වගේ අපේ රටේ ගෑණු ළමයි ජපන් පිරිමි අයව බැන්දා, ඒ සමහර පිරිමි පෝලියෝ හැදුනු අය. මං නූපා සං ගැන ලියන්න හිතාගෙන හිතාගෙන ඉන්නවා. තාම බැරි වුනානේ.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි රන්දිල්.... තම තමන්ගේ කඩන් වැටුණු පරමාදර්ශී හීන වලින් පැනලා යන්න, මන් කොළ කීයක් හරි තමන්ගේ පවුලේ අයට එවන්න නූපා සං වගේ කීයක් දෙනා ජපානෙට පැනලා යන්න ඇද්ද.. ඔබගේ අදහස් කියවන්න ඉතා කැමැත්තෙන් පසු වෙනවා. ලිපිය හමාර වුණාට පස්සේ දන්වන්න.. ස්තූතියි..

    ReplyDelete

ඔබේ අදහස්...